Thursday 18th of June 2026

English Tamil
Advertiesment


රනිල්ගෙන් සහතිකයක්-එජාපයට නව මුහුණුවරක්..!


2018-04-03 14877

(සුජිත් මංගල ද සිල්වා)

හෙට (04) දින විවාදයට ගැනීමට නියමිත රජයට හා අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව අවසන් වූ වහාම එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද (03) දින පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මන්ත්‍රීවරුන් වෙත දැනුම් දුන්නේය.

පක්ෂයේ වගකීම්, සාකච්ඡා අනුව නව කණ්ඩායමක් වෙත පවරා අවශ්‍ය පරිවර්තන සිදු කිරීමට කටයුතු කරන බව පැවසු අග්‍රාමාත්‍යවරයා පක්ෂය පුර්ණ වශයෙන් ප්‍රතිසංවිධානය කොට ඉදිරි පළාත් සභා මැතිවරණ හා අනෙකුත් මැතිවරණ සඳහා ඉතා ශක්තිමත්ව මුහුණ දිය හැකි පක්ෂයක් බවට එක්සත් ජාතික පක්ෂය පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද පැවසීය.

පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව පත් කරන ලද රුවන් විජේවර්ධන කමිටු යෝජනා ද, දැනට ලැබී ඇති වෙනත් අදහස් ද ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවත්, පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය ලබන අප්‍රේල් මස 30 වෙනිදාට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කිරීමට ප්‍රථම ඒ සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ අදහස් ලබා ගැනීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව, එළැඹෙන අප්‍රේල් 7 හා 8 දෙදින පුරා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡා වට දෙකක් මේ වන විට කැඳවා ඇත.

එම රැස්වීම්වල දී පක්ෂයේ සියළුම ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ අවසන් තීරණ ගැනීමට නියමිත අතර පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටත් නියමිතය. එම කමිටුව පත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව පක්ෂ සභාපති, මහලේකම් හා භාණ්ඩාගාරික සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කිරීමට නියමිතය.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment